අකලට වැටෙන මහ වැසි, දුර්භීක්ෂ, වසංගත රෝග, සුනාමි ව්‍යසන, සුලි සුලං හා ලැව් ගිනි ශිෂ්ඨාචාරයේ නිශ්චිත නිමාවක පෙර මග ලකුණු පෙන්වයිද?
ලෝක විනාශය අත ලඟ බවට ඉඟි කරන දේශගුණික විපර්යාස
අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ ගමේ රටේ දේශගුණික හා කාලගුණික වෙනස්වීම් සිදු වුණේ කිසියම් රටාවකට අනූවය.වැසි සහිත කාලය සහ වැසි රහිත වියලි දේශගුණය උදාවන කාලය පිලිබඳව අවබෝධයක් ඒ ඇත්තන්ට තිබුණා. අනෙක් අතට ඒ උදවිය ස්භාවික විපත් වලට මුහුණ දෙන්න කල් ඇතිවම ලකලෑස්ති වුණා. ඒ සඳහා හෝඩුවාවන් ලබා ගත්තේ සොබා දහමේ ඉඟි බිඟි වලින්මයි.
වැසි ඇද වැටෙන දිනය, වේලාව හා නැකත අනූව එම වර්ෂාවේ ස්වභාවය, පවතින කාලය හා එමගින් සිදුවිය හැකි අනතුරු ආදිය පිලිබඳ අනාවැකි ප්‍රකාශ කල හැකි 'වැහි ලකුණු ශාස්ත්‍රය' නම් සම්භාවනීය ශාස්ත්‍රීය දැනුමක් ඉපැරණි බහුශ්‍රැතයන් අතර පැවතුණි. සතුන්ගේ හැසිරීම් රටා, ස්වභාව ධර්මයේ හදිසි වෙනස් වීම් සහ පොහොය ලබන හා ගෙවෙන වෙලාවේදී පවතින දේශගුණික තත්වය වැනි දෑ පදනම් කරගෙන කාලගුණික අනාවැකි පැවසීමේ දුර දක්නා නුවණද ඔවුන් සතු විය.දේශගුණික රටා පිලිබඳ ඔවුන් එවැනි පූර්ව අවබොධයක් ලබා ගත්තේ කාලාන්තරයක් පුර මිහිපිට ජීවත් වීමෙන් ලැබූ පාරම්පරික ජීවන අත්දැකීමෙනි.
මේ අන්දමට මුතුන් මිත්තන් විසින් අත් දැකීමෙන් දැන කියාගෙන කට වචනයෙන් පරපුරෙන් පරපුරට රැගෙන ආ දේශගුණික අනාවැකි වල විශ්වාසනීයත්වය පිලිබඳව අද වන විට ගැටලු මතු වෙමින් පවතී. අස්වැන්න නෙලා ගෙට ගන්නට නියමිත පෑවිල්ල ඇතැම් විට බලාපොරොත්තු නොවන මොර සූරන මහ වැසි ඇද වැටෙන කාලයකි. ගස් කොල වල මල් ඵල දැරිය යුතු වසන්තය බොහෝ විට දීර්ඝ ඉඩෝරයකි. අනපේක්ෂිත දරුණු ස්වභාවික විපත් දේශගුණික හා කාලගුණික වෙනස්වීම් හා මාරුවීම් වල අනිවාර්ය ප්‍රතිඵලයකි.
අතීතයේ ස්වභාවික විපත්ති බොහොම දුර්ලබයි. එත් අද, වෙලාවක් කලාවක් නොමැතිව ඇද වැටෙන මහ වැසි, සුලි සුළං, ගංවතුර, නාය යෑම්, වසංගත රෝග පැතිරීම හා මහ පොලව ඉරි තලන කාෂ්ඨක නියඟ නිරන්තරයෙන් සිදු විය හැකි සුලභ සිදුවීම් ගොන්නක් බවට පත් වෙලා හමාරයි.අතීතයේදී සුලි සුළඟක්, ගංවතුරක්, නාය යෑමක් වැනි ස්වභාවික ආපදාවන් සිදු වුණ විට ඒ ගැන කවි කොල ගසා ගමේ සති පොලේ විකිනීමටද තිබිනි. නමුත් අද වන විට ස්වභාවික ආපදා හේතුවෙන් නිතර නිතර මිනිසුන්ගේ ගේ දොර , ජීවනෝපාය පවා විනාශ වීම ජන ජීවිතයේ තවත් එක් සාමාන්‍ය සිදුවීමක් වැනිය.


උපුටා ගන්නා ලද්දේ;
"" දේශගුණික විපර්යාස සඳහා වග කිය යුත්තෝ කවුද? ඇති හැකි අයද? නැති බරි අයද?""
ජන තාක්ෂණ පුවත් සඟරාව, ප්‍රැක්ටිකල් ඇක්ෂන්, දකුණු ආසියාව.
ඡායාරූ: අන්තර්ජාලයෙනි.
No comments:
Post a Comment