නිල් වරල නළ ලය
දෙබැම ද නුවන් සඟ ලය
දෙතොල දත් දෙප ලය
කියන මෙහැමට උවම විර ලය
ඇගෙ සුනිල් දිගු ඇස්
දෙකන් දෙපසට දුව ගොස්
කොඳුරන මහ රහස්
ඇගේ රුව පිළිබඳව අද හස්
ඇගෙ රුව දැකී මෙන්
බඹර ගණ මත් වී මෙන්
මලෙකැයි හැඟී මෙන්
සරති එහි ගුමු ගී ගැයී මෙන්
කුරුලු ගී නාදය
ඇගෙ පිය රුවෙහි වාදය
ඈ තබන පාදය
අනුව රැළි දෙන උතුරු මූදය
ඇගෙ නියග නිය මල්
පිපෙන සැටි දැක හැම කල්
ගෙවතු වල තුරු වැල්
දරා සැරසුණි කුඩා සුදු මල්
පිරි සිරි සියල් ලෙන්
තුන් ඉරි රැඳුනු බෙල් ලෙන්
පැරදුනු ඇසිල් ලෙන්
වැසුනි හක් ගෙඩි මූදු වැල් ලෙන්
ගල් මල් කවඩි බෙලි
කටු රැඳි සිඳු වෙරළ වැලි
පිපුන නියමල් රැලි
ඇගේ පා නිය පෙළෙහි සිරි සිලි
සැදි දිගු ඇඟිල් ලෙන්
බබලන සුරත අල් ලෙන්
සිරිය ගෙන එල් ලෙන්
දිලුනි වන තුරු ලතා දැල් ලෙන්
ඇගෙ ලය මඬල දැක
පහල වී විලි බිය සැක
පල බර තැඹිලි රුක
සැලුණු හැටි පැහදිලිව කිව හැක
No comments:
Post a Comment