October 26, 2011

දේශයක් ගොඩ නැගූ අභිමානවත් නායකයෙක්

ලිබියානු රාජ්‍ය නායකයාව සිටි කර්නල් ගඩාෆි ඝාතනය මනුෂ්‍යත්වය අගයන මිනිසුන් නොකල යුත්තකි.එය මිලේච්ඡයන් පිරිසකගේ ඉතා පහත් මිලේච්ඡ ක්‍රියාවකි.
90%කටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක් කාන්තාරයක්ව පැවැති ලිබියාව, දිළිඳු අප්‍රිකා මහද්වීපයේ ප්‍රබල රාජ්‍යයක් බවට පත් කිරීමේ පුරෝගාමියා වූයේ කර්නල් ගඩාෆිය.ලෝකයේ කිසිවෙකුට ණය නොවූ ලිබියානු ජාතියක් ගොඩනැගුවේ ඔහු විසිනි.ඔහු විසින් ලිබියානු සමාජය තුල පැවති සමාජ විෂමතා බොහොමයක් දුරුකරමින් කාන්තාවන්ටත්, සෙසු ජාතීන්ටත් සම අයිතීන් ඇති කරන ලදී.එසේම අප්‍රිකාවේ ඉතා අඩු සාක්ෂරතාවක් හා අඩු ආයු අපේක්ෂාවක් පැවැති ලිබියාව අද වනවිට මානව සංවර්ධන දර්ශකයේ අප්‍රිකානු කලාපයේ ඉහලම ස්ථනයට( HDI 0.755) ඔසවා තැබීමද ඔහුගේ පාලන කාලය තුල වීමම ඉතා සුවිශේෂී වේ. ඔහුගේ පාලන කාලය තුල නිදහස් අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය, නිවාස සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැනි බොහොමයක් සමාජ සුබසාධන වැඩසටහන් සඳහා නොමිලයේ රජය විසින් පහසුකම් සපයනු ලැබීය. එසේම උසස් අධ්‍යාපනය කැමති සැමට රජය මගින් විශේෂ ශිෂ්‍යත්ව පිරිනමන ලදී. ලොව පුදුමයන්ගෙන් එකක් සේ සලකන "The Great Man-made River" ඉදිකරමින් ලිබියාවේ බොහොමයක් ප්‍රදේශ වලට පානීය ජල අවශ්‍යතාව සැපයීමද ඔහුගේ සුවිශේෂ කාර්යයකි.දැඩිනීති ලිබියාව තුල ක්‍රියාත්මක වීමම යහපත් සමාජ වටපිටාවක් ඇති කිරීමට හේතු විය.
ලොව අටවෙනි සහ අප්‍රිකාවේ වැඩිම තෙල් සංචිත ප්‍රමාණයකට හිමිකම් කියන ලිබියාව( බැරල් බිලියන 46.4) 2010 වසරේදී දිනකට බොරතෙල් බැරල් මිලියන 1.7 නිෂ්පාදනය කර ඇත. ඉන් 85%ක් අපනයනය කර ඇත්තේද යුරෝපා වෙළඳපොලටය.එම ප්‍රමාණය (11%) තෙවැනි වන්නේ රුසියාවට හා නොර්වේ වලට පමණි. 
ලිබියාව තුල උත්සන්න වූ ගඩාෆිගේ වසර 42 පාලනයට විරුද්ධ ගඩාෆි විරෝධී කැරැල්ලට ඇමෙරිකාව  ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ සහාය ලැබීමත් සමග තත්වය වෙනස් මුහුණු වරක් ගන්නා ලදී. හුදෙක්ම එය බටහිර ලෝකයට තම ආර්ථික අවපාතයට මුහුණ දීමට අනාගතයේදී වාසි සහගත වටපිටාවක් උදාකරන හෙයිනි. බටහිර බොහොමයක් ජාතීන් අතීතයේ සිට අද දක්වාම  වෙනත් ජාතියක් සූරාකෑමේ ප්‍රතිපත්තියක සිටින බවට ඉතිහාසය තුල බොහෝ සාක්ෂි හමුවේ.මෙයද එවැන්නකි.
කිසිවෙකුට ණයනොවී තම රට අප්‍රිකාවෙත්, ලෝක සිතියමෙත් ඉහල තැනක ඔසවා තැබූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා තම උපන් දේශයේදීම අදවනවිට මියගොස් හමාරය.ජීවග්‍රහයෙන් අල්ලා ගත් පුද්ගලෙයෙකු\ රාජ්‍ය නායකයෙකු මෙලස සාහසික අන්දමින් මරා දමා මං මාවත් දිගේ ඇදගෙන යාම යුක්ති සහගතද? මානව අයිතීන් ගැන කථා කරන්නවුන් නිසි ක්‍රියා මාර්ග ගන්නේ කවදාද? ඔහු ලිබියානුවන්ට කල අපරාධය තම රට අන්ත දිළිඳු මට්ටමක සිටි අවධියක, කිසිඳු ලේ සෙලවීමකින් තොරව රාජ්‍ය බලය ලබා ගෙන අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය යන තත්වයට තම රට ඔසවා තැබීමද?ඔහු එදා පහල නොවෙන්නට අද වන විට ලිබියාවේ ජනතාව වුවද සොමාලියාවේ, ඉතියොපියාවේ මෙන් කුසගින්නේ මියයන්නට, ලෝකයට ණයකරුවන් විලසට මියයන්නට ඉඩ තිබිණි.
කෙලෙහිගුණයක් හිත ඇති කිසිම ලිබියානුවෙකු හෝ ඕනෑම අයෙකු ඔහුගේ මරණය සිදු වූ ආකාරය අනුමත නොකරනු ඇත.හුදෙක්ම එය මිලෙච්ඡ ක්‍රියාවකට සමය.ලිබියානු දේශය අද වනවිට නේටෝ ප්‍රමුඛ බටහිර ඉදිරියේ දණ ගසා අවසානය. ලිබියව තුල උත්සන්න වූ කැරෙල්ලක් වෙනුවෙන්, කැරලිකරුවන් උදෙසා ආයුධ හා සහය ලබා දීමෙන් බටහිර ජාතීන්ගේ වූ අපේක්ෂාවන් මතු ඉටුවේද? බටහිරට අවනත නොවන රාජ්‍ය නායකයන්ගේ ඉරණම මෙයමද?
දේශයක් ගොඩ නැගූ අභිමානවත් නායකයා වෙනුවෙන් අනාගතය්දී කිසිදු පිලිරුවක් ලිබියාව තුල ඉදි නොවෙනු ඇත.නමුත් ගඩාෆි විරෝධී මෝඩ ලිබියානුවන්ට තමන් සිදු කරන ලද වරද  මතු වැටෙහෙනු ඇත. එවිට සියල්ල සිදුවී හමාර වනු ඇත.

දත්ත මූලාස්‍ර:
*මානව සංවර්ධන දර්ශකය(HDI) 2010  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP).
*අන්තර්ජාලයෙන්


No comments: